කියපු දේ කරන්න .පාසැල් බලධාරින්ට යළිත් සිහිකැදවිමක්..

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් බලධාරීන්ට ඊයේ (12) යළි සිහිකැඳවීමක් කර තිබෙනවා. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සිය මුල් නිවේදනය නිකුත් කළේ පසුගිය මස 26 වැනිදා යි. එම මුල් නිවේදනයේ සඳහන් උපදෙස් පිළිපදින ලෙස නව නිවේදනයෙන් යළිත් වතාවක් සිහිකැඳවීම් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළැක්විය යුතු බවත් ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීම හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසු බවත් එහි සදහන් වෙනවා. අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන්.

මීට දෙදිනකට පෙර (11) තිරුක්කෝවිල් හී පාසලක පැවති මැරතන් ධාවන තරගයකට සහභාගී වු 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් සිදුකරන බව යි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා පවසා තිබුණා.

අම්පාර, තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහ විද්‍යාලයේ නිවාසාන්තර තරඟය අතරතුරයි මෙම සිසුවා මිය ගොස් තිබුණේ. 11 වෙනිදා උදැසන එම පාසලේ මැරතන් ධාවන තරගය පැවත්වූ අතර තරගය නිමා කිරිමෙන් පසුව සිසුවෙකු හුස්ම ගැනිමේ අපහසුතාවයකින් සිටි නිසා තිරුක්කෝවිල් මුලික රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහු අක්කරපත්තු රෝහල වෙත ඇතුලත් කරන ලදුව දහවල් වනවිට සිසුවා මියගොස් තිබුණා.

මෙසේ මිය ගොස් ඇත්තේ තිරුක්කෝවිල්, දොරේ අප්පා මාවතේ පදිංචිව සිටි ජෙයකුමාර් විදූෂන නැමැති වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙක්. මෙම මැරතන් ධාවන තරගයට ළමුන් 30 දෙනෙකු පමණ සහාභාගි වීමට නියමිතව තිබූ බවයි කියන්නේ.

විදුහලේ ක්‍රිඩා භාර ආචාර්ය යු.කේ.ප්‍රසාද් විසින් මැරතන් ධාවනයට සහාභාගි වෙන දරුවන් තිරුක්කෝවිල් රෝහලට ගෙනවිත් තරගයට පෙර එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර තිබෙනවා.

පසුව පෙරවරු 6.45 ට පමණ මැරතන් ධාවන තරගය තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් ආරම්භ කළ තිබුණා. එම ස්ථානයෙන් ආරම්භ කරන ලද මැරතන් ධාවන තරගය කලුදාවලි පුල්ලයාර් කෝවිල අසළට ගොස්, එතැනින් හැරී නැවත තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් නිමා කළ බව පැවසෙනවා.

මෙම මැරතන් ධාවන තරගයේ දුර කිලෝමිටර් 8ක් පමණ වෙනවා.
මෙම සිසුවාගේ මිය යාමත් සමඟ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහ විද්‍යාලයේ සිසු සිසුවියන්, ප්‍රදේශයේ තරුණ තරුණියන් හා දෙමාපියන් සමඟ 1000ක පමණ පිරිසක් පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට විරෝධය පළකරමින් මාර්ගයේ ගමනා ගමනයට බාධාකර මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයක් සිදුකර තිබුණා.

මෙහිදී විරෝධතාකරුවන් විසින් රෝහල වෙත ගල් වලින් පහර දි ජනෙල් වල වීදුරු හා තිරැක්කෝවිල් මුලික රෝහලේ නාම පුවරැවටද හානි සිදුකර ඇති බවයි කියවුණේ.

මෙම විරෝධතාව මැඩ පැවැත්විම සදහා තිරැක්කෝවිල්, අක්කරපත්තු, පොතුවිල් යන ස්ථානයන් වල පොලිස් නිලධාරීන් හා සාගම, තම්බැට්ට, ආරුගම්බේ කදවුරුවලින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ගෙන්වා තිබුණා.

රෝහල් බළධාරීන් ප්‍රකාශ කර සිටියේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මෙවන් ආකාරයේ ශරීරය වෙහෙසවන ක්‍රීඩා හැකිතාක් අවම කිරීමට කටයුතු කළයුතු බවයි. බොහෝ දරුවන්ට මෙවන් වෙහෙසකාරී ක්‍රීඩාවල නිරතවීමෙන් පසුව විවිධ සංකූලතා මතුවන බවත් එය මෙවැනි මරණ සඳහා හේතුවන බවත් ඔවුන් පවසා තිබුණා.

මේ අතර මැරතන් වැනි දිගු දුර තරග සඳහා සහභාගී වීමට පෙර සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ යුතු බව විශේෂ වෛද්‍ය චන්න ද සිල්වා කියනවා.

“මේකට විවිධ හේතු තිබෙනවා. සමහරවිට අවාසනාවන්ත ලෙස විජලනය තත්ත්වය නිසාත් මේ තත්ත්වය සිදුවිය හැකියි. අපිට වළක්වා ගන්න පුළුවන් දේවල් විශේෂයෙන්ම දිගු දුර තරගවලට සම්බන්ධ වෙන දරුවන්ට ඒ සම්බන්ධයෙන් නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔවුන්ගේ නිරෝගීකම තහවුරු කරලා, නිවාස්නතර ක්‍රීඩා තරගවලට යොමු කළ යුතුයි. පවුලේ කෙනෙකුට එවැනි තත්ත්වයක් පවතිනවා නම් ඒ ගැන දෙමාපියන් සැලකිලිමත් වෙන්න ඕනේ. එවැනි තරගවලට සහභාගී වෙන දරුවන් ඔවුන්ගේ ශරීරයේ විජලනය වළක්වා ගැනීමට පෙර සුදානමක් අවශ්‍යයි” ඔහු පවසනවා.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.