ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලූ රූමත් කතක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ රූමත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ 52 හැවිරිදි ව්‍යාපාරිකයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් සිටියදී 32 හැවිරිදි සැකකාරියව හඳුනාගෙන ඇති අතර දෙදෙනා අතර ඇතිවූ මිතුරුකම පසුව අනියම් සබඳතාවක් දක්වා ගොඩනැගී ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව දෙදෙනා ඉන්දියාවේදී හෝටල් කාමරයක් තුළ අඹු-සැමි ඇසුරක් පවත්වා ඇති අතර එය සැකකාර කාන්තාව විසින් ඇයගේ ජංගම දුරකථනයෙන් රහසිගතව වීඩියෝ ගතකර තිබේ.

ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඇය විසින් අදාළ වීඩියෝව ව්‍යාපාරිකයාගේ බිරිඳට පෙන්වන බවට ඔහුව බියගන්වා ඊට කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ඉල්ලා තිබූ බව පොලීසිය පැවසීය. 

ඊට බියවූ ව්‍යාපාරිකයා සැකකාරියගේ ගිණුමට රුපියල් ලක්ෂ 10ක මුදලක් බැරකර ඇති අතර, ටික දිනකින් ඇය ඉතිරි රුපියල් ලක්ෂ 60 ඉල්ලා යළිත් තර්ජනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පොලීසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් ලබාගැනීමට කළුතර ප්‍රදේශයේ යම් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා එහිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී පොලීසිය සඳහන් කළේ සැකකාර කාන්තාව සමග තවත් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් අතර මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවය.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ සිදුකෙරෙයි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.