පොලොන්නරුව වකුගඩු රෝහලේ බේත් හිඟය?

පොලොන්නරුව රෝහලේ නේවාසිකව විශාල පිරිසක් ප්‍රතිකාර ලබති. එමෙන්ම දෛනික සායනවලට ද විශාල පිරිසක් පැමිණෙති. මෙම රෝගීන්ට අවශ්‍ය තරම් ඖෂධ නොමැතිකම නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව ලංකාදිප පුවත් පෙත් කතුවරයා විසින් පසුගියදා අවධාරණය කර තිබුණේ මේ ගැන විශේෂ කතුවැකියක්ද ලියමින්ය.

මෙම කතුවැකිය විසින් මතුකර ඇති කරුණු වලින් කියැවෙන යථාර්ථය යනු වකුගඩු රෝගින් පත්ව ඇති අසරණ තත්වයයි.
වකුගඩු බද්ද කළ රෝගින්ට මෙන්ම වකුගඩු රෝගයට ලක්ව ප්‍රතිකාර ලබන අයටද නියමිත ඖෂධ මාත්‍රාවන් නියමිත වේලාවට ගැනිම අත්‍යවශ්‍ය වේ.

මෙවන් පසුබිමක රෝගින් සදහා බේත් හිඟවිමට බරපතල අර්බුදයකි.


වකුගඩු ජාවාරම් ගැන තලු මරමින් ලියන කියන ඇතැම් මාධ්‍ය වකුගඩු රෝගින්ගේ ඇත්ත ප්‍රශ්ණ ගැන මාධ්‍ය මගින් නිසි ප්‍රමුඛතාවයක් ලබානොදෙන බව ඉතා පැහැදිලිය.
ලංකාදිප කතුවරයාගේ මේ අවධාරණය වැදගත් වන්නේ මෙවන් පසුබිමකදිය

එකි කතු වැකියේ මෙසේද සටහන්ය.

පොලොන්නරුව රෝහලේ වකුගඩු රෝගීන් සියයකගේ පමණ එකවර රුධිර කාන්දුකරණයට යොමු කළ හැකි පහසුකම් සලසා ඇතත් එම කටයුතු අදියර 2ක් යටතේ සිදුවන බව රෝගීන් පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රුධිර කාන්දුකරණයට රෝගීහු 150ක් පමණ දිනකට යොමු වෙති.

ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ මෙම පොලොන්නරුව වකුගඩු රෝහලටය. එම පසුබිම තුළ එහි ඖෂධ හිඟයක් පැවතීම එම රෝගීන් බලවත් ලෙස අසරණ භාවයට ඇද දැමීමකි. ඖෂධ හිඟය නිසා නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර රෝගීන්ට වැඩි මිලට ෆාමසිවලින් ඖෂධ ගැනීමට සිදුවී තිබේ.

වකුගඩු රෝගියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000ක් ලැබුණ ද එය ඖෂධ ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවය. එමෙන්ම එම මුදල මාස දෙකකින් නොලැබුණ බව ද ඔහු කියා තිබිණි.

රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට දෙන ඖෂධ මිල සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘වෛද්‍ය නිර්දේශ අනුව රෝගීන් විශාල පිරිසක් ඖෂධ මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙම එන අය අතේ තියෙන මුදලට දින කිහිපයකට ඖෂධ අරන් යනවා. නැවත බෙහෙත් ගන්න එන්නෙ නෑ.’’ යනුවෙනි.

අතේ ඇති මුදලට ඖෂධ මිලදීගෙන රෝග සුවපත් කරගත හැකිද යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ. විශේෂයෙන්ම අඛණ්ඩව ඖෂධ ගත යුතු වකුගඩු රෝගය වැනි රෝගයකට එසේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවන බව ද ඒකාන්ත සත්‍යයකි. එම අසරණ මිසිසුන්ට ජීවිතය රැක ගැනීමට දෙවියන් යදිනවා හැර වෙනත් විකල්පයක් නැත.

පොලොන්නරුව දිස්ත්‍රික් ඖෂධහල් හිමියන්ගේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘රජය ඖෂධ වර්ගවල මිල ගණන් සියයට 16කින් අඩු කළා. එහෙත් එම මිල සියයට 50කින් අඩු කිරීමට රජයට හැකියාව තිබෙනවා. රටට ඖෂධ වර්ග ආනයනය කරන මහ පරිමාණ සැපයුම්කරුවන් අධික ලාභයක් ලබනවා. ඒ මාෆියාව නතර කරනවා නම් ඒක රෝගීන්ට අස්වැසිල්ලක් යනුවෙනි.
මුලාශ්‍රය – ලංකාදිප

Leave comment

Your email address will not be published. Required fields are marked with *.