පුංචි ඡන්දෙට කලින් අටදාහ හාරදාහට බස්සන්න පුළුවන් – මහින්ද දේශප්‍රිය

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ගණන 8000 සිට 4000 දක්වා අඩු කළ හැකි බව මැතිවරණ කොට්ඨාස සීමා

නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.


මේ සම්බන්ධයෙන් ‘දේශය’ පුවත්පත කළ විමසුමකට පිළිතුරු දී ඇති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණය කොමිසමට තවත් සාමාජිකයන් දෙදෙනකු පත් කර ඒ සමඟ පළාත් පාලන මන්ත්‍රීන් ගණන අඩුකිරීම සඳහා වන නියමය (T.O.R) තම කොමිසම වෙත ලැබුණොත් මාස තුනක කාලයක් තුළ මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කළ හැකි බව අවධාරණය කර තිබේ.


දැනට පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාස 4900ක් රට තුළ ක්‍රියාත්මකය. එයින් 900ක් පමණ අඩුකොට මන්ත්‍රී කොට්ඨාස 4000ක් සකස් කළ යුතුය. ඒ සඳහා මාස තුනක් ප්‍රමාණවත් බව පවසන මහින්ද දේශප්‍රිය, එසේ වුවහොත් ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් වන විට පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකි බවද කියා සිටියි.


මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ ද මන්ත්‍රීන් සංඛ්‍යාව අඩුකිරීම සීමා නිර්ණයක් තුළින් සිදු කළ යුතු වගයි. එහෙත් මැතිවරණ කොමිසමේ කාර්යභාරය වන්නේ පවත්නා නීතිය අනුව පළාත් පාලන ඡන්දය පැවැත්වීම වන නිසා මැතිවරණ කොමිසම ලබන මාර්තු මස ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සංවිධාන කටයුතු කරන බව සභාපතිවරයා කීය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.